Saturday, November 26, 2011

විශ්ව ශක්තිය ඉදිරියේ යටපත් වන මිනිස් ශක්තිය

අපේ පියවි ඇසට නොපෙනෙන ලෝකයේ සත්ත්වයන්ගේ ක්‍රියාකාරකම් පමණක් නොව විශ්ව ශක්තිය හෙවත් සොබා දහම විසින් ද අරුම පුදුම දේ සිදු කරනු ලබයි. මිනිසා ගේ හා අනිකුත් සත්ත්වයන් ගේ සංසාරික ක්‍රියාකාරකම් හේතු කොට ගෙන සිදු වන්නකි මේ පෙර භවයන්හි මෙන් ම මේ භවයේ ද ක්‍රියාකාරකම් හෙවත් කර්ම නිසා සිදු වන විපාක දීමකි. මිනිස් ලොව මිනිසෙකු ලෙස බුද්ධෝත්පාද කාලයක උපදින්නේ වාසනා ගුණයත් හේතු කොට ගෙනය.


එසේ ඉපැදුණු මිනිසා ඒ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන සීමාව ඉක්මවා ඉඳුරන් පිනවීමට යෑම නිසා මෙලොවට පැමිණි කාර්යය අමතක වීමෙන් හෝ මේ කාම ලෝකයට අධිපති මාර දිව්‍ය පුත්‍රයා ගේ බලපෑමට ලක්වීමෙන් හෝ නුවණ නිසා හෝ අන්තවාදී ලෙස වැරැදි කොට දුකට පත් වෙති. සසර ගමන කෙටි කැර ගන්නවා වෙනුවට දිගු කැර ගනී. පස් පවින් එකක් හෝ කීපයක් වැළඳගෙන අපා දුකට පත් වෙයි.
මේ මාතලේ දිස්ත්‍රික්කයේ එක්තරා ගම්මානයක් සම්බන්ධ කතාවකි. 2007 වර්ෂයේ සිදු වූවකි. මේ ගම කසිප්පු හා හොර දැව ජාවාරම ඉහළින්ම පැවති ප්‍රදේශයකි. කොයි තරම් නිලධාරීන් බලධාරීන් සිටිය ද මතට තිත තබන්නට උත්සාහ කළ කෙනෙක් නැත. ජාවාරම් කරුවන්ට නීති විරෝධී ජාවාරම් පවත්වා ගෙන යෑම නීතියෙන් පාලනය කරනවා වෙනුවට උන් ගේ ජරාව කමින් තව තවත් අවනීතිය පණ ගැන්වූහ.
නිලධාරීහු හොර ජාවාරම් කරුවන් ගේ කටු කන බල්ලන් බවට පත්ව සිටියහ. මේ හේතුවෙන් ජන ජීවිතයට මහත් හානි සිදු විය. පවුල් අවුල් විය. කුලියක් මලියක් හෝ කැර ගෙන පනම් හතරක් හොයා ගත් දුප්පත් එකා පවා දහදිය මහන්සියෙන් සොයා ගත් මුදල කසිප්පු පානයට වැය කොට හිස් අතින් හැන්දෑවට ගෙදර ගියා පමණක් නොවේ.
අඹු දරුවන්ට තාඩන පීඩන කළෝය. බිරින්දෑවරු අන්ත අසරණ වූහ. පවුලේත් පරිසරයේත් පීඩනයට පත් දූ දරුවන් ගේ අධ්‍යාපනය කඩා කප්පල් විය. පවුල් දෙක තුනක දරුවන් හැරෙන්නට අනෙකුත් එක ම පවුලක දරුවෙක්වත් යටත් පිරිසෙයින් සාමාන්‍ය පෙළ හෝ සමත් වූවෙක් නොවීය. ඒ පවුල් දෙක තුනේ හැරෙන්නට රජයේ රැකියාවක් කළ කෙනෙක් ද නොවීය. එසේ දැහැමිව වැදගත් ලෙස ජීවත් වූ සීමිත පවුල් කීපයට මුළු ගම ම ඊර්ෂ්‍යා කළේ ය.
මේ ගම මේ තත්ත්වයෙන් තිබිය දී ගමේ පන්සලේ භික්ෂුන් වහන්සේ නමක් මාසයකට වඩා වැඩ විසූයේ නැත. මාතලේ පඤ්ඤානන්ද හිමියන් මේ පන්සලට වැඩම කළේ මේ වැනි අවදියක දී ය. උන්වහන්සේ සරල දිවි පැවතුමින් යුක්ත වූහ. මස් මාළු කරවල බිත්තර නොවැළඳූහ. එසේ එළවළුවලින් පමණක් යැපීම පවා ගම්මුන්ගේ නොමනාපයට හේතු විය.
මාතලේ පඤ්ඤානන්ද හිමියෝ මේ පන්සලට වැඩම කළ දා පටන් රාත්‍රී බෝධි පූජාව මැනවින් පැවැත්වූහ. කලින් කී දැහැමි පවුල්වල සාමාජිකයෝ ඊට සහභාගි වූහ. අනෙකුත් පවුල්වල කාන්තාවෝ ද ටිකෙන් ටික බෝධි පූජාවට සහභාගි වූහ. ඒ පවුලේ දුක් විපත් ලෙඩ රෝග ආදියෙන් සුවපත් වීමේ අරමුණින්මය. ඉඳහිට පිරිමි දෙතුන් දෙනෙකු එහි පැමිණිය ද ඔවුන් ආවේ කට ගොන්නක් බී ගෙන ය. මේ ගමේ උදවියගේ පැවතුම් නිසා වෙනත් ගම්වලින් මේ ගම සමඟ ආවාහ විවාහ සම්බන්ධකම් පවා නොපැවැත්වීය.
උදේ කුලී වැඩකට යන මිනිහා ලබා ගන්නා කුලී මුදලින් බීමත්ව ගෙදරට එන්නේ අමනුස්සයෙකු ගේ විලාසයෙනි. බිරියටත් දරුවන්ටත් තාඩන පීඩන සිදු කළහ. මේවා විඳ දරාගන්නට නොහැකි කාන්තාවෝ පඤ්ඤානන්ද හිමියන් මුණ ගැසී සිය දුක් අඳෙීනා කියමින් පිළිසරණක් පැතූහ. උන් වහන්සේ දිනපතා බෝධි පූජා අවස්ථාවේ පස් පවේ ආදීනව, විශේෂයෙන් ම මත්පැනෙන් සිදුවන විපත දායක දායිකාවන්ට පැහැදිලි කළහ.
කාන්තාවන් ගේ දුක් අඳෙීනා වල අඩුවක් නොවූ බැවින් පොලීසියට මේ තත්ත්වය පැමිණිලි කරන්නට පවා උන් වහන්සේට සිදු විය. එහෙත් පොලීසිය කසිප්පු නිෂ්පාදකයන් සමඟ පැවැත්වූ යම් යම් සම්බන්ධකම් නිසා වැටලීම් සිදු කළත් අත්අඩංගුවට ගැනීම් සිදු වූයේ අවම මට්ටමෙනි. පොලිසියෙන් මතට තිත නොතබන විට ඉහළට පැමිණිලි කරන්නට ද උන් වහන්සේට සිදු විය. මෙයින් කසිප්පු කාරයෝත් පොලිසියත් දෙපාර්ශවය ම උන් වහන්සේට විරුද්ධකම් කළහ.
උන්වහන්සේ බෝධි පූජාවෙන් හා වෙනත් වත් පිළිවෙත් මඟින් මිනිසුන්ගේ අපල උපද්‍රවවලට ලෙඩ දුක් කරදර විපත්වලට සුවය ලබා දුන්හ. ඇතැම් පිළිකා රෝගීන් පවා සුවපත් කළහ. අමනුෂ්‍ය රෝග පවා සුවපත් කළහ. මේ නිසා විවිධ ප්‍රදේශවලින් බොහෝ දෙනා උන් වහන්සේගේ බෝධි පූජාවලට සහභාගි වූහ. නිතර යාන වාහන පැමිණියහ. ගමේ රැකියා විරහිතයෝ කුඩා වෙළෙඳ සල් පටන් ගත්හ.
බස් රථවලින් පවා මේ බෝධි පූජාවට පිරිස් පැමිණියහ. දඹුල්ලේ සිට ඒ සඳහා ම බස් රථ දෙකක් ධාවනය විය. රජයෙන් මතට තිත වැඩ පිළිවෙළ ප්‍රකාශ කිරීමත් සමඟ පඤ්ඤානන්ද හිමියෝ ද මත් පැනින් මිනිස් ජිවිත මුදා ගැනීම සඳහාත්, පවුල් අවුල් අඬ දබර වලින් සහනයක් ලබාදීම සඳහාත් ස්වකීය බෝධි පූජා අවස්ථාවල දී මත්පැන දැඩි සේ විවේචනය කළහ. ඒ පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තැන්වලට ද පැමිණිලි කිරීම නිසා ප්‍රදේශයේ පොලිසියේ සමහර නිලධාරීහු උන් වහන්සේ සමඟ වෛර බැඳ ගත්හ. “උඹලට ඕනෑ දෙයක් කරපල්ලා” යි කසිප්පු ජාවාරම් කාරයන්ට ඉඟි කළහ.
දිනක් රාත්‍රියේ කීප දෙනෙක් පැමිණ උන් වහන්සේ ගේ කුටියේ දොරට තට්ටු කළහ. එසේ පැමිණියේ රෝගියෙකු සඳහා ප්‍රතිකාරයකට යැයි සිතූ පඤ්ඤානන්ද හිමියෝ දොර විවෘත කළහ.
ඉදිරියෙන් ම කුටියට ඇතුළු වූයේ ඊට දින දෙකකට පෙර දරුණු හිසරදයකින් පෙළී වේදනාව ඉවසාගත නොහී පන්සලට පැමිණ උන් වහන්සේ අතින් ම හිස තෙල් ගා පිරිමැද සුවපත් වූ පුද්ගලයාය. ඊළඟට ඇතුළු වූයේ සිය ගැබිණි බිරියට සතියක් පුරා වේල් පිරිත් කියා සුවපත් කළ පවුලේ ස්වාමි පුරුෂයාය. ඊළඟට පැමිණි දෙදෙනා ද එවැනි ම අය ය. මේ අය වෙතින් මහත් මත්පැන් ගඳක් වහනය විය.
මොවුහු කුටියට ඇතුළු වී පඤ්ඤානන්ද හිමියන්ට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් පොලුවලින් පහර දෙන්නට පටන් ගත්හ. පළමු පොලු පහරින්ම උන්වහන්සේ අසල තිබුණු යහන මතට ඇද වැටිණි. හිස පැලී ගලා ගිය ලෙයින් සිමෙන්ති පොළව තෙත් වී ගියේය. අවසානයේ ඔවුහු හිමියන් මළා යැයි සිතා අතහැර දමා ගියහ. ගලා ගිය ලේ දහරාව කෙතරම් දැයි කියතොත් මේ අපරාධකරුවන් ඒ ලේ මත ලිස්සා වැටී තිබුණි.
තුන් වැනිව හතර වැනිව කුටියට ඇතුළු වූ දෙදෙනා ගෙන් එකෙකු පසුව කියා තිබුණේ “මම නම් හාමුදුරුවන්ට ගැහුවේ එක පාරයි. දුක හිතිලා ඊට පස්සේ ගැහුවේ නෑ” කියා ය. අනිකා කියා තිබුණේ සීල් අරක්කු බොන්නට දී අඬ ගැසූ නිසා මේ ගමන ගිය බවත්, හාමුදුරුවෝ මීට පෙර කළ උදව් මතක් වී දුක හිතුණු බවත්, මුදලාලි දොස් කියන නිසා පහර දුන් බවත් ය.
අපරාධකරුවන් පලා ගිය පසු පන්සලට පැමිණි කෙනෙක් මැදිහත් වී උන්වහන්සේ රෝහල් ගත කළහ. දඹුල්ල රෝහලට ඇතුළත් කළ ද රෝහලේ සේවය කළ බේබද්දන් ගේ හා කසිප්පු මුදලාලිලාගේ බලපෑම් නිසා නිසි ප්‍රතිකාර හරිහැටි ලැබුණේ නැත. හිසේ තුවාල පැසවන්නට විය. රෝහලේ සේවය කළ එක් සුළු නිලධාරියෙක් හාමුදුරුවන් වෙත රහසිගතව පැමිණ වටපිට බලා කීවේ
“හාමුදුරුවනේ! බලෙන් ටිකට් කපා ගෙන ගිහින් වෙනත් රෝහලකට ඇතුළත් වී ප්‍රතිකාර ගන්න” යනුවෙනි. පොලිසිය මේ ගැන දැන ගත් නමුත්,
“අපට පැමිණිල්ලක් ලැබුණේ නැතැ” යි පවසමින් විභාගයට පැමිණියේ නැත. ගමේ අය චණ්ඩින්ට ඇති බිය නිසා පොලිසියට පැමිණිලි කරන්නට ගියේ ද නැත. ඊට පසු දින පිට ප්‍රදේශයකින් මේ පන්සලට බෝධි පූජාවට බස් රියකින් පැමිණි පිරිසක් සිද්ධිය ගැන අසා උන්වහන්සේ බලන්නට රෝහලට ගියහ. රෝහලෙන් උන්වහන්සේ බලන්නට ඉඩ දුන්නේ එයින් දෙතුන් දෙනෙකුට පමණි. ඔවුන් වහාම පොලිසියට ගොස් පැමිණිලි කළහ.
පසු දින උන් වහන්සේ බලෙන් ම ටිකට් කපා ගෙන ඥාතින් සමඟ ගොස් මාතලේ රෝහලට ඇතුළත් වූහ. මේ වන විට මේ අපරාධය පිළිබඳව මාධ්‍ය මඟින් ප්‍රචාරය කැරිණි. පොලිසිය පිළිතුරු දුන්නේ උන්වහන්සේ “ටිකට් කපා ගෙන සුවපත් වී” ගොස් ඇති බව ය. එහෙත් සිද්ධියේ සත්‍ය තත්ත්වය දන්නා මාධ්‍ය ජාවාරම්කරුවන්ගේ බලය හා පොලිසියේ නිද්‍රාශීලී බව පුන පුනා වාර්තා කළේය. සැකකරුවන්ට නඩු නොපවරා සිටින්නට පොලිසියට නොහැකි විය.
ස්වකීය භාවනා ශක්තියෙන් හා ගුප්ත ශක්තියෙන් ද බෝධි පූජාමය ආශීර්වාදයෙන් ද දහසක් රෝගීන් සුවපත් කරමින් මිනිසුන් දුසිරිතෙන් මුදවා යහමඟට ගැනීමට උත්සාහ දැරූ පඤ්ඤානන්ද හිමියෝ සියල්ල අතහැර වෙනත් ප්‍රදේශයක පදිංචියට ගියහ.
අද උන් වහන්සේ කුරුණෑගල, වදාකඩ, නාගනේ ශ්‍රී සීවලී ආරාමයේ වැඩ වසති. නඩු දිනයේ උසාවි ගොස් තමන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ලවා තමන්ට නඩු කියන්නට අවශ්‍ය නැති බව අධිකරණයට දන්වා සිටියහ.
අධිකරණයෙන් විත්තිකරුවන්ට අවවාද කොට නිදහස් කළේය. පඤ්ඤානන්ද හිමියෝ මෛත්‍රී සිතින් සිද්ධිය අමතක කොට භාවනා ශක්තියෙන් හා බෝධි පූජා මඟින් රෝගීන් සුවපත් කරමින් නාගනේ අලුත් පන්සලේ පුරුදු සේවය ඉටු කරති.
විශ්වයට නීති පොත් නැත. විශ්වයට රහස් නැත. නීතිය ඉටු කරන්නට බාධා නැත. පියවි ඇසට නොපෙනෙන ශක්තිය කාටවත් යටත් නැත. බිය නැත. උන් වහන්සේට පහර දුන් ප්‍රධාන පුද්ගලයා ගේ ඒ අත අද අප්‍රාණික ය. අනිත් තුන් දෙනා ද අපරාධයට සහභාගි වූ ආකාරයෙන් ඉන්ද්‍රිය දුර්වලතාවලට පත් වී කායිකව ද මානසිකව ද දුක් විඳිති.
මේ පඤ්ඤානන්ද හිමියෝ එදා පදවියට කොටි ගහද්දී හමුදා සෙබළුනට බෝධි පූජාවෙන් පිරිතෙන් හා භාවනා ශක්තියෙන් ධෛර්යය දුන්හ. කොටි ත්‍රස්තවාදීන්ගේ මරණ තර්ජනවලින් කිහිප විටක් බේරී හමුදා සෙබළුන් වෙනුවෙන් මහත් මෙහෙවරක් කළහ. උන් වහන්සේ තවමත් දුකට පත්වූවන් සුවපත් කරති.
                                                                                           උපුටා ගැනීමකි.(http://www.silumina.lk)

No comments:

Post a Comment

 
;